Gossips

මාලදිවයින් මහ මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදීන්ට ජය – හිටපු ජනපති නෂීඩ් යළි කරළියට

ඊයේ පැවති මහ මැතිවරණයෙන් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගනිමින් සිටින බව වාර්තාවනවා.
ජනාධිපති ඊබ්‍රාහිම් සොලීගේ මෙන්ම හිටපු ජනපති මොහොමඩ් නෂීඞ්ගේ පක්ෂය වන්නේද එයයි.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාලදිවයින් පාර්ලිමේන්තුවේ ආසන 87 න් 60 ක් පමණ ජයග්‍රහණය කරනු ඇති බව මූලික ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ එරට මාධ්‍ය ප්‍රකාශ කළා. අවසන් ප්‍රතිඵලය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පසුගිය වසර අවසානය වනතෙක් රටින් පිටව සිටි හිටපු ජනපති මොහොමඞ් නෂීඩ් මේ අනුව මාලදිවයිනේ රාජ්‍ය පාලනයට යළි එක්වනු ඇති.
2008 වසරේදී මාලදිවයිනේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදි ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ද වූයේ ඔහුයි.
එහෙත් හිටපු ජනපති අබ්දුල්ලා යමීන් ඔහුට ත්‍රස්ත චෝදනා යටතේ දඩුවම් පමුණුවා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වළක්වා තිබුණා.
නව ප්‍රජාතන්ත්‍රවාදී රජය මාලදිවයිනේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර තිබෙනවා.
අධිකරණය සහ පොලීසිය වෙත දේශපාලන බලපෑම අවම කිරීම සහ දූෂණය මැඩලීම ඒ අතරින් ප්‍රධානයි.