Gossips

නිදහස් පක්ෂයේ අයවැය තීන්දුව සාකච්ඡාවට බාධාවක් නොවන බව පොදුජන පෙරමුණ කියයි

අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීම තුළ නව පොදු සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් දියත් වන සාකච්ඡා සදහා බාධාවක් සිදුනොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව කියා සිටියේ ඊයේ පැවති 2019 අයවැය – අවසන් ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීම පිළිබදව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
අයවැය පරාජයට පත් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් විපක්ෂය සතුව නොපැවති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
2019 අයවැය වැඩි ඡන්ද 45 කින් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ ඊට පක්ෂව ඡන්ද 119 ක් ලබා ගනිමින්.
එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 74 ක් හිමි වුණා.
එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, විපක්ෂව ඡන්දය භාවිත කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණයි.
එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබූ අතර එහි තවත් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාවේ රැදී සිටියේ නැහැ.
නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකරට අමතරව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම සහ රංජිත් සියඹලාපිටිය එම පිරිසට අයත් වනවා.
එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල, නිශාන්ත මුතුහෙට්ටිගම, දුෂ්මන්ත මිත්‍රපාල, වීරකුමාර දිසානායක, කාදර් මස්තාන් මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම ද ඊයේ අවසන් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගැබ තුළ රැදී සිටියේ නැහැ.
මෙම තත්ත්වය තුලින් පෙනී යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන තත්ත්වයක් බවයි ඒ පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.