Gossips

රංගන ශිල්පී රයන් රිමාන්ඩ්

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වැන්රූයන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළා.
ඒ සැකකරු මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර, තම පාවිච්චිය සඳහා ගංජා ළඟ තබා ගත් බවට ඔහු පොලීසිය ඉදිරියේ වරද පිළිගෙන තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලීසියට භාර දුන් අතර, එහිදීයි ඔහු මෙලෙස වරද පිළිගෙන ඇත්තේ.
ඒ අනුව, ගංජා ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය යන චෝදනා යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
පසුගිය දා ඩුබායි හි පැවති සාදයකදී මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගැනුණු රයන් වැන්රූයන් ඊයේ අලූයම නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුවයි.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනුණු ඔහුගෙන් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලීසිය වෙත භාර දී තිබුණා.
ඒ, ඔහු ඩුබායි අත්අඩංගුවේ පසු වූ කාලයේ ඔහු මෙරට දී භාවිත කළ බව කියන මෝටර් රථයක තිබී ගංජා හමුවීමේ සිද්ධියකට අදාළවයි.
රංගන ශිල්පී රයන් වැන්රූයන්ගේ මෝටර් රථය හමුවුණේ මාතර – මිරිස්ස ප්‍රදේශයේ පාතාල සාමාජික සන්ෂයින් සුද්දාට අයත් හෝටලයක තිබියදියි.
මේ අතර, පාතාල නායක මාකඳුරේ මධූෂ් තමන්ට හඳුන්වා දුන්නේ ගායන ශිල්පි අමල් පෙරේරා බව ප්‍රශ්න කිරීම්වලදී රංගන ශිල්පී රයන් වැන්රූයන් ඊයේ ප්‍රකාශ කළා.
මීට පෙර ඩුබායි හි පැවති ප්‍රසංගයකදී අමල් පෙරේරා විසින් තමන්ට මාකඳුරේ මධූෂ් හඳුන්වා දුන් බවයි ඔහු සඳහන් කර තිබුණේ.
මේ අතර, රංගන ශිල්පී රයන් වැන්රූයන් සමඟ ඩුබායි සිට මෙරටට පිටුවහල් කර එවූ අනෙක් පුද්ගලයින් 4 දෙනා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැරුණා.