Gossips

ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිමින් වකුගඩු රෝගයෙන් පීඩා විඳින චන්දන සිරි වකුගඩු රෝගීන් 160 ක් වෙනුවෙන් කළ උතුම් සත් ක්‍රියාව (ඡායාරූප)

වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින වකුගඩු රෝගියෙකු තවත් වකුගඩු රෝගීන් 160 දෙනෙකු වෙනුවෙන් සිදුකළ උතුම් සමාජ කටයුත්තක් පිළිබද පුවතක් පොළොන්නරුවෙන් වාර්තා වනවා.
පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචිව සිටින යූ.ජී චන්දන සිරි මේ වනවිට වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නෙක්.
35 හැවිරිදි මොහු එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද මූලික කර ගනිමිනුයි මෙම උතුම් සමාජ කටයුත්ත සිදුකිරීමට තීරණය කර තිබුනේ.
ඒ අනුව ඔහු මෙන්ම වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින තවත් වකුගඩු රෝගීන් 160 දෙනෙකු වෙනුවෙන් වියළි සලාක මල්ලක් ප්‍රදානය කිරීම අද (05) සිදුකෙරුනේ පොළොන්නරුව මහ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේදීයි.
පොළොන්නරුව මහ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙන් ප්‍රතිකාර ලබාගන්නා පොළොන්නරුව මැදිරිගිරිය, මීගස්වැව ,වඩිගවැව මීගස්වැව දියසෙන්පුර අසේලපුර බකමූණ දියබෙදුම යන ප්‍රදේශවල පදිංචි වකුගඩු රෝගීන් 160 දෙනෙකු සඳහා මෙම වියළි සලාක මළු ප්‍රදානය කරනු ලැබුවා.
මෙම අවස්ථාවට පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර, නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් ගුණතිලක ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඡායාරූප – පොළොන්නරුව, රොෂාන් තුෂාර