Gossips

රයන් වැන්රූයන් වරද පිළි ගනී

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වැන්රූයන් තම පාවිච්චිය සඳහා ගංජා ළඟ තබා ගත් බවට වරද පිළිගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලීසියට භාර දුන් අතර, එහිදීයි ඔහු මෙලෙස වරද පිළිගෙන ඇත්තේ.
පසුගිය දා ඩුබායි හි පැවති සාදයකදී මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගැනුණු රයන් වැන්රූයන් ඊයේ අලූයම නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුවයි.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනුණු ඔහුගෙන් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලීසිය වෙත භාර දී තිබුණා.
ඒ, ඔහු ඩුබායි අත්අඩංගුවේ පසු වූ කාලයේ ඔහු මෙරට දී භාවිත කළ බව කියන මෝටර් රථයක තිබී ගංජා හමුවීමේ සිද්ධියකට අදාළවයි. රංගන ශිල්පී රයන් වැන්රූයන්ගේ මෝටර් රථය හමුවුණේ මාතර – මිරිස්ස ප්‍රදේශයේ පාතාල සාමාජික සන්ෂයින් සුද්දාට අයත් හෝටලයක තිබියදියි.
ඊට අදාළව වැලිගම පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී රයන් වැන්රූයන් මෙලෙස තමන් ගංජා ළඟ තබා ගත් බවට වරද පිළිගෙන තිබෙනවා.
වැලිගම පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ මෝටර් රථයේ හිමිකාරීත්වය වෙනත් පුද්ගලයෙකු සතුව පැවතුණ ද මෙතෙක් එම පාර්ශවය පොලීසියට ඉදිරිපත් වී නොමැති බවයි.
මේ අතර, පාතාල නායක මාකඳුරේ මධූෂ් තමන්ට හඳුන්වා දුන්නේ ගායන ශිල්පි අමල් පෙරේරා බව ප්‍රශ්න කිරීම්වලදී රංගන ශිල්පී රයන් වැන්රූයන් ඊයේ ප්‍රකාශ කළා.
මීට පෙර ඩුබායි හි පැවති ප්‍රසංගයකදී අමල් පෙරේරා විසින් තමන්ට මාකඳුරේ මධූෂ් හඳුන්වා දුන් බවයි ඔහු සඳහන් කර තිබුණේ.
කෙසේ වෙතත්, අද අලූයම 3ට පමණ ඔහු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් වැලිගම පොලීසියට භාර දී ඔහු රැගෙන යන අවස්ථාවේ මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමාට අසාධාරණයක් සිදුවූ බවත්, ඉදිරියේදී සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට පියවර ගන්නා බවයි.
මේ අතර, රංගන ශිල්පී රයන් වැන්රූයන් සමඟ ඩුබායි සිට මෙරටට පිටුවහල් කර එවූ අනෙක් පුද්ගලයින් 4 දෙනා මුදා හැර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස මුදා හැරීමට කටයුතු කළ බවයි.
රංගන ශිල්පී රයන් වැන්රූයන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.