Gossips

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට, ඇමරිකාවෙන් වීසා නැහැ

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා විසින් සිදුකළ බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝජිතයන්ට තම රට වෙත පැමිණීමට වීසා ලබා නොදෙන බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.
යුද අපරාධ අධිකරණයේ නීතිපතිවරිය වන ෆටාවු බෙන්සවුඩා වෙත ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය වෙත පැමිණීමට වීසා නිකුත් කළ නොහැකි බවයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළේ.
ඊට අමතරව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය, ඔවුන්ගේ ක්‍රියාමාර්ග වෙනස් නොකරන්නේ නම්, ඊට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
2002 වසරේදී ජගත් සංවිධාන සම්මුතියකට අනුව පිහිටුවනු ලැබූ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට රටවල් 123ක් ඇතුළත් වී සිටින අතර, චීනය, ඉන්දියාව සහ රුසියාව ඇතුළු රටවල් රැසක් ඊට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කළා.
එමෙන්ම, ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පවසමින් ඉන් ඉවත්වීමට ඇතැම් අප්‍රිකානු රටවල් යෝජනා කර තිබෙනවා.