Gossips

බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ දිමුත්ට ඩොලර් 7500ක් දඩයක්

බීමතින් රිය පදවා අනතුරක් සිදුකර ක්‍රීඩක කොන්ත්‍රාත්තු කඩ කිරීම හේතුවෙන් දිමුත් කරුණාරත්න හට ඇමෙරිකානු ඩොලර් 7500ක් දඩයක් නියම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
බොරැල්ල, කිංසි හෝර්ටන් ප්‍රදේශයේදී මාර්ග වර්ණ සංඥා උල්ලංඝනය කරමින් පසුගියදිනක අළුයම දිමුත් කරුණාරත්න මහතා ධාවනය කළ ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් එහි රියැදුරා තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා මුදාහැරුණේ පොලිස් ඇප මතයි.
සිද්ධිය සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, ඔහුගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්න සාලිය අබේරත්න මහතා, දිමුත් කරුණාරත්න මහතාව නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන ප්‍රධාන වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා ලෙසටද නියෝග කළා.
මෙහිදී දිමුත් කරුණාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියාසිටියේ අගතියට පත් පාර්ශ්වයට නව ත්‍රිරෝද රථයක් ලබාදීමට කටයුතු කරන බවයි.
හානිපූර්ණය කරන්නේ නම් නඩුව සමථයකට පත්කර ගැනීමට කැමති බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර, නඩු විභාගය මැයි 2 වනදා යළි කැඳවීමට නියමිතයි.
මේ අතර, බොරැල්ලේදී සිදුවූ රිය අනතුර පිළිබඳව මුහුණු පොත් සටහනක් තබමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මහතා සිය කනගාටුව පළ කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ, අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයේ රියැදුරාගේ ඉක්මන් සුවය සහ අභිවෘද්ධිය වෙනුවෙන් පියවර ගන්නා බවයි.
එමෙන්ම අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන සියලු නීතිමය කටයුතුවලට සිය උපරිම සහයෝගය දෙන බවත්, ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස තමා අතින් සිදුවූ අතපසුවීම කිසිසේත් සුළු කොට නොතක බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.