Gossips

හම්බන්තොට සුළං බලාගාරයේ සුළං පෙති ගලවයි

විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක මෙගාවොට් 3ක විදුලි ධාරිතාවක් පද්ධතියට එකතු කළ හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා ඇති බවට වාර්තා වනවා.
මීට මාස 5කට පමණ ඉහත දී බලාගාරයේ සුළං පෙති ඉවත් කර ඇති බවටයි විදුලි සේවකයන් සඳහන් කළේ.
එය වෙනත් ස්ථානයක ස්ථාපිත කරන බවට පවසා සුළං පෙති ගලවා දමා තිබෙනවා. නියාමක විදුලි බලාගාරයක් ලෙස මෙම බලාගාරය මීට වසර 30කට පමණ පෙර හම්බන්තොට – කරගම්ලේවාව ප්‍රදේශයේ සවි කරනු ලැබුවා.
කෙසේ වෙතත්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය චීන සමාගමකට බදු දීමත් සමඟ එම බලාගාරය පිහිටි පරිශ්‍රය ඔවුන්ට අයත් බැවින් ඔවුන්ට බදු ගෙවීමට සිදුව ඇති නිසා එය ඉවත් කරන්නට ඇති බවටයි විදුලි සේවකයින් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ලංකා සුනිත්‍ය බල අධිකාරියෙන් විමසීමක් කළා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ විදුලි බලාගාරය හැකි ඉක්මනින් යළි ස්ථාපිත කිරීමට විදුලිබල මණ්ඩලයත් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
මේ අතර, සිංහල රාවය සංවිධානය අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ විදුලිය මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා පිළිබද සොයා බලන ලෙසට ඉල්ලමින්.
එමෙන්ම දැනට සිදුකෙරෙන විදුලි කප්පාදුව හේතුවෙන් රටේ සමස්ත ආර්ථික වර්ධනයට ඍජු බලපෑම් එල්ල වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.