Gossips

ඩුබායි සිට පැමිණි දෙදෙනාගෙන් රහස් පොලීසිය, ප්‍රශ්න කිරීම ඇරඹේ

පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයට සහභාගි වී පිටුවහල් කිරිමෙන් අනතුරුව පොලිස් භාරයට ගැනුණු පුද්ගලයින් දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.
මොවුන්ට පාතාල කල්ලි සමඟ සබඳතා තිෙබිද යන්න පිළිබදව ප්‍රශ්න කිරීම්වලදී අවදානය යොමු කරන බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
අද අලූයම 4.55ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 226 දරණ යානයෙන් මෙලෙස දිවයිනට පැමිණියේ මොහොමඞ් සිද්ධික් මොහොමඞ් සියාම් සහ ලංකා සජිත් පෙරේරා යන අයයි.
47 හැවිරිදි මොහොමඩ් සිද්ධික් මොහොමඞ් සියාම් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, 39 හැවිරිදි ලංකා සජිත් පෙරේරා කඹුරුපිටිය – සපුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ මිතුරෙකු බව සඳහන්.
එහෙත් මෙම දෙදෙනාට එරෙහිව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ කිසිදු චෝදනාවක් සටහන් වී නොමැති බවයි එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ.
මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි පැවැත්වූ සාදයේදී අත්අඩංගුවට ගත් පිරිස අතරින් පාතාල නායක කංජිපානි ඉම්රාන් ඇතුළු පුද්ගලයින්ගෙන් 06 දෙනෙකු මෙරටට පිටුවහල් කරනු ලැබූ අතර, එලෙස පැමිණි ගායන ශිල්පි නදීමාල් පෙරේරා සහ ඇන්ඩර්සන් ෆර්ඩිනැන්ඩස් නැමැත්තා මුදා හරිනු ලැබුවා.
පාතාල නායක කංජිපානි ඉම්රාන්, මාස 3ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහායි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබාදුන්නේ.
මෙරටට පිටුවහල් කෙරුණු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා නැමැත්තා සහ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල නැමැත්තා මීගමුව සහ මොරවක මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මොවුන් අද යළිත් වරක් එම අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.