Gossips

බස්නාහිර පෞද්ගලික බස් රථ ලා නිල් පාට වීමේ නීතිය අද සිට

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථවල වර්ණය ලා නිල් පාට විය යුතු බවට පවතින නීතිය අද සිට ක්‍රියාත්මකයි.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහනය අධිකාරියේ සභාපති තුසිත කුලරත්න කියා සිටියේ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවලට ලබාදී ඇති වර්ණය වෙනුවට වෙනත් වර්ණයක් භාවිතා කර තිබේ නම් ඒවා නිවැරදි කිරීම සඳහා මාස 3 ක කාලයක් ලබාදෙන බවයි.
ඉන් අනතුරුව බස්නාහිර පළාතේ සියලූම පෞද්ගලික බස් රථවල ලා නිල් පැහැති වර්ණය ගැන්විය යුතු අතර, එසේ සිදු නොකරන බස් රථ සඳහා නීති මඟින් කටයුතු කරනු ඇති.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසිනුයි බස්නාහිර පලාතේ බස් රථ සඳහා ලා නිල් පැහැති වර්ණය යෙදවීමට තීරණය කර ඇත්තේ.
මේ අතර මෙම නීතියට අනුව කටයුතු නොකරන බස්රථ සොයා අද සිට වැටලීම් ක්‍රියාත්මක අතර මෙහිදී ප්‍රවේශපත්‍ර ලබා නොදෙන බස් රථ සම්බන්ධයෙන් ද සොයා බැලීමක් සිදු කරනු ඇති.
නිල ඇඳුම පැලද සේවය නොකරන බස් රථ සේවකයන් සම්බන්ධයෙන් ද මෙම වැටලීමේදී පරීක්ෂාවට ලක් කරන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහනය අධිකාරියේ සභාපති තුසිත කුලරත්න සඳහන් කළේ.
බස්නාහිර පළාත තුළ සියලූම මාර්ගවල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 6,000 ක්.