Gossips

සහල් මිල අඩුවේ, පාලන මිල නවතින ලකුණු

මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් පසුගිය සතියේ සිට වෙළඳපොලේ සහල් මිල ගණන් පහත දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 105 ක්ව පැවති නාඩු සහල් කිලෝවක් 85 දක්වාත්, 115 ත් 120 ත් අතර පැවති සම්බා සහල් කිලෝවක් රුපියල් 90 දක්වාත් පහත දමා ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ.
මෙම තත්ත්වය මත ඉදිරි සතියේදී වෙළඳපොලේ අනෙකුත් සහල් වර්ගවල මිලද රුපියල් 10 කින් පමණ අඩුවිය හැකි බව එහි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන කියා සිටියා.
සහල් මිල ඉහළ යාමත් සමඟ අද සිට ක්‍රියාත්මක වන පරිදි නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 80 ක සහ සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 85 ක පාලන මිලක් පැනවීමටයි රජය තීරණය කළේ.
කෙසේ වෙතත් මහ පරිමාණ සහල් නිෂ්පාදකයින් සහල් මිල පහළ දැමීමත් සමඟ මෙම පාලන මිල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් මතුවන්නේ නැහැ.
අප මේ පිළිබඳවද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශනගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට රැස්වන ජීවන වියදම් කමිටුවේදී ගනු ඇති බවයි.