Gossips

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට කටයුතු කරන බව ජනපති කියයි

අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මැදිරිගිරිය රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පහසුකම් ද උපරිම මට්ටමින් ලබාදීමට රජය කටයුතු කරන බවයි.
ඉදිරියේදී සිදු කෙරෙන ජපාන සංචාරයේදී සෞඛ්‍ය සේවයට අවශ්‍ය නව තාක්ෂණික උපකරණ ලබාගැනීම වෙනුවෙන් ජපානයේ සහය ලබාගැනීමට වැඩපිළිවෙල සකසන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.
මේ අතර පොළොන්නරුව දිග්ගල්පුර විහාරස්ථානයේ පැවති උත්සවයකට ද ජනාධිපතිවරයා අද (01) පස්වරුවේ එක්වුනා.
එහිදී ඔහු කියාසිටියේ රට සහ ජනතාව වෙනුවෙන් කළ යුතු වැඩ කොටස කිසිදු අඩුපාඩුවකින් තොරව උපරිමයෙන් ඉටු කරන බවයි.
සැබෑ සංවර්ධනයක අවශ්‍යතාව තම හෘද සාක්ෂිය තුල පවතින අතර වංචාවෙන් සහ දුෂණයෙන් තොරව එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මාවත නිර්මාණය කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.