Gossips

දිමුත් කරුණාරත්න අධිකරණයට – ඇප ලබාදීම ගැන පොලිස්පතිගේ අවධානය

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත්, මොහුට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි පොලීසිය දැනුම් දී ඇත්තේ.
බොරැල්ල – කිංසි – හෝර්ටන් ප්‍රදේශයේදී මාර්ග වර්ණ සංඥා උල්ලංගණය කරමින් ඊයේ අලූයම මොහු පැදවූ ජීප් රථය, ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුවූ අතර සිද්ධියෙන් ත්‍රිරෝද රථ රියදුරා සුළු තුවාල ලැබුවා.
ඉන් අනතුරුව දිමුත් කරුණාරත්න ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගත් අතර පසුව පොලිස් ඇප මත මුදා හැරීමටයි බොරැල්ල පොලීසිය කටයුතු කරනු ලැබුවේ.
මේ අතර, බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.
මෙම සිද්ධියේදී මොහු සිය ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම උල්ලංඝනය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.