Gossips

දිමුත්ට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක්

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
බොරැල්ල – කිංසි හෝර්ටන් මංසන්ධියේදී ඔහු පැදවූ මෝටර් රථය, ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න පොලීසිය විසින් අද (31) උදෑසන අත්අඩංගුවට ගැනුණා.
රිය අනතුර සිදුවන අවස්ථාවේ ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න බීමතින් සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව පොලිස් ඇප මත දිමුත් මුදා හැරුණු අතර ඔහු හෙට (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.