Gossips

ෆේස්බුක්, ආණ්ඩුවේ සහය පතයි

හානිකර තොරතුරු සංසරණය වීම වැළැක්වීමට මෙන්ම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාලයේ නියාමනයට රජයන් සක්‍රිය දායකත්වයක් දැක්විය යුතු බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකබර්ග් පවසනවා.
මෙතෙක් රජයන් වෙතින් අන්තර්ජාල නියාමනයට කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ ෆේස්බුක් ප්‍රධානියාගේ මෙම ප්‍රකාශය විප්ලවකාරී වෙනසක් ලෙසයි විචාරකයන් හඳුන්වන්නේ.
අන්තර්ජාලයේ රෙගුලාසි යාවත්කාලීන කිරීමෙන් පරිශීලකයන්ට ඉහළම සේවාවක් ලබාදීමට ෆේස්බුක් ආයතනය කටයුතු කරමින් සිටින බවයි ඔහු කියා සිටියේ.
ජනතාවට අදහස් පළ කිරීමේ නිදහස සහතික කිරීමට සහ ව්‍යවසායකයන්ට නවෝත්පාදන එළිදැක්වීමට කටයුතු කරන අතර, සමාජ මාධ්‍ය, හානිකර අදහස්වලින් සමාජය රැකගැනීමටද පියවර ගත යුතු බව සකබර්ග්ගේ අදහසයි.
ෆේස්බුක් නිර්මාතෘවරයා සඳහන් කළ පරිදි අංශ හතරක නව නියාමන සමාජ මාධ්‍ය සඳහා අවශ්‍යවනවා.
හානිකර අන්තර්ගතය, මැතිවරණ ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ දත්ත සුවහ බව හෙවත් හුවමාරු කිරීමේ නම්‍යශීලිතාව එම අංශ හතරයි.
පසුගිය කාලය තුළ ෆේස්බුක් ආයතනයට එම අංශ හතරෙන්ම චෝදනා එල්ලවූ අතර, නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය සජීවී ලෙස විකාශය කිරීම එහි නවතම චෝදනාවයි.
ඔහු කියා සිටියේ ෆේස්බුක් පමණක් නොව පොදුවේ සමාජ මාධ්‍ය සඳහා අදාළ රජයන්හි අධීක්ෂණයක් සහ නියාමනයක් පැවතීම ඒවායේ නිසි ක්‍රියාකාරීත්වයට ආධාරකයක් විය හැකි බවයි.