Gossips

රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධාන සභාපති අත්අඩංගුවට

තඹුත්තේගමදී සිදුවු ගොවි විරෝධතාවයට අදාළව රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ විරෝධතාවය සම්බන්ධයෙන් ගොවි සංවිධාන දෙකක සභාපතිවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම, එම විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුණු මෙතෙක් අත්අඩංගුවට නොගත් පිරිස් වීඩියෝ දර්ශන උපයෝගී කර ගනිමින් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි තඹුත්තේගම පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
මෙහිදී අධිකරණ නියෝග කඩකරමින් කලහකාරී ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට ගත් සැකකරුවන් 59 දෙනාගෙන් 50 දෙනෙකු මේ මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔවුන් ඊයේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඉන් 09 දෙනෙකු සානුකම්පිත හේතු ඉදිරිපත් කිරීම නිසා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
මේ අතර, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න රක්ෂිත බන්ධනාගාරගත කළ විරෝධතාකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අද අනුරාධපුර බන්ධනාගාරයට පැමිණියා.
මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් ගොවීන් ඊයේ පාදෙනිය – අනුරාධපුර මාර්ගය අවහිර කරමින් පැය 03 කට අධික කාලයක් විරෝධතාවයේ නිරත වුණේ ව්‍යාපෘතිය නිසා තම ගොවිතැන් කටයුතු විනාශ වන බව පවසමින්.
එහිදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් මතුවූ අතර, පිරිස විසුරුවා හැරීමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කෙරුණා.
කෙසේ වෙතත්, පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ එම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා තමන් උපදෙස් ලබාදුන් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක හිරු ප්‍රවෘත්ති අංශයට අද කියා සිටියා.