Gossips

දිල්ලි – පන්ජාබ් කණ්ඩායම්වලට ජය

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ පැවති කොල්කටා – දිල්ලි තරගය තියුණු මුහුණුවරක් ගත් අතර, දෙපිලේ ලකුණු සමානවීම නිසා ජයග්‍රාහකයා තීරණය කෙරුණේ සුපිරි පන්දු වාරයෙන්.
කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් පිල පළමුව පන්දුවට පහරදෙන ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ඇරයුම් කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 8ක් දැවී ලකුණු 185 ක් රැස් කළා.
පිළිතුරු වශයෙන් දිල්ලි කැපිටල්ස් පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 185 ක්.
එහිදී ඉන්දීය ක්‍රිකට් පිලේ නව යොවුන් බලාපොරොත්තුව වන 19 හැවිරිදි ප්‍රිත්වි ෂෝ පන්දු 55 කදී ලකුණු 99 ක් රැස් කරගැනීමට සමත්වුණා.
ලකුණු තත්ත්වය සමවීම නිසා පැවති සුපිරි ඕවරයේදී කගීෂෝ රබාඩා දැක්වූ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ජයග්‍රහණය හිමිවූයේ දිල්ලි කැපිටල්ස් පිලටයි.
අයි.පී.එල්. තරගාවලියට අදාළව ඊයේ පැවති අනෙක් තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා කඩුලූ 8 ක ජයක් වාර්තා කිරීමට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල සමත්වුණා.
මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 176 ක් රැස් කළ අතර, පන්ජාබ් පිල පන්දු වාර 18 යි පන්දු 4 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 177 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා.
එහිදී ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 71 ක් රැස් කළ අතර, ක්‍රිස්ගේල් සහ මයන්ක් අගරවාල් ලකුණු 40 ක් සහ 43 ක් රැස් කරගැනීමට සමත්වුණා.
මුම්බායි පිල වෙනුවෙන් දෙවන තරගයට එක්වූ ලසිත් මාලිංග කඩුලූ ලබාගැනීමට සමත් නොවූවද ඔහු යැවූ පන්දු වාර 3 ට ප්‍රතිවාදී පිතිකරුවන් ලබාගත්තේ ලකුණු 24 ක් පමණයි.