Gossips

කංජිපානි, දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට සැරසේ

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සූදානම් වන බවට වාර්තා වනවා.
මේ වන විට සැකකරුගෙන් පැය 15කට අධික කාලයක් කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් ප්‍රශ්න කර ඇති බව ද සඳහන්.
මේ අතර, සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ද ඊයේ දිනයේදී කංජිපානි ඉම්රාන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
තමන් කිසිවක් නොදන්නා බව ඔහු එහිදී දිගින් දිගටම ප්‍රකාශ කළ බවයි සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ උසස් නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අනුව කංජිපානි ඉම්රාන් තවදුරටත් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අදාළ අංශ සැලසුම් කර තිබෙනවා.
මේ අතර, කංජිපානි සමඟ මෙරටට පිටුවහල් කරනු ලැබූ අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා ලබන 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
එමෙන්ම, කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ද රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ලබන 2 වන දා දක්වායි.
මේ වනවිට මාකඳුරේ මධූෂ්ගේ සාදයේදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින්ගෙන් 06 දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇති අතර, එලෙස පැමිණි ගායන ශිල්පි නදීමාල් පෙරේරා සහ ඇන්ඩර්සන් ෆර්ඩිනැන්ඩස් නැමැත්තා ද මුදා හරිනු ලැබුවා.
එමෙන්ම නදීමාල් සමඟ දිවයිනට පිටත් කරනු ලැබූ ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා ප්‍රශ්න කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ පස්වරුවේ කළුතර මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න වෙත ඉදිරිපත් කළා.
එහිදී ඔහු ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.