Gossips

මධූෂ් සමග අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ ජංගා ආරක්ෂාව ඉල්ලයි

තමන්ට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත්වු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා නැමැත්තා අද අධිකරණයෙන් ඉල්ලිමක් කළා.
ඒ, පිටුවහල් කිරිමෙන් පසු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැණුනු එම සැකකරු, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියී.
මොහුව ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ මීගමුව මහේස්ත්‍රාත් ආර්.ජයසූරිය, අදාළ ඉල්ලිම පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසයි මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ.
අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගාගේ ගන්දර – තලල්ලේ පිහිටි නිවසේ තිබී හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් පසුගියදා සොයාගැනුණේ ටී-56 වර්ගයේ උණ්ඩ තොගයක්ද සමඟයි.
ඒ අනුව මෙම සිද්ධියට ලබන මස 02 වැනිදා මොහුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ආර්.ජයසූරිය නියෝග කළා.
එමෙන්ම, ඊයේ කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල නැමැත්තාද මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කරනු ලැබුවේ මාතර – රොටුඹ ග්‍රාමීය බැංකුව ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදු කරන රොටුඹ පොලිසිය විසින්.
යුද හමුදාවෙන් පළා ගිය සෙබලෙකු වන මොහු, පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 20 වැනිදා සිදු වු මෙම වෙඩි තැබිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වනවා.
අද දිනයේ මොරවක මහේස්ත්‍රාත් ශෂිකලා මිථුනාරච්චි නියෝග කළේ මෙම සැකකරු ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
මොවුන් සමග අත්අඩංගුවට ගැනුණු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තවදුරටත් ප්‍රශ්ණ කිරිම් සිදු කරනවා.
ඒ මොහු විසින් සිදු කළ මනුෂ්‍ය ඝාතන 03 සහ පුද්ගලයින් 15 දෙනෙකු ඝාතනයට තැත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්.
කෙසේ වෙතත්, මෙම සැකකරුවන් සමඟ පොලිස් භාරයට ගැණුනු කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඇන්ඩර්සන් ෆර්ඩිනැන්ඩස් නැමැත්තා ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද මුදාහරිනු ලැබුවා.
ඒ, ඔහුට එරෙහිව චෝදනාවක් නොවීම හේතුවෙන්. මේ වනවිට මාකඳුරේ මධූෂ්ගේ සාදයේදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින්ගෙන් 06 දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇති අතර, එලෙස පැමිණි ගායන ශිල්පි නදීමාල් පෙරේරා ප්‍රකාශ ලබාගැනීමෙන් පසු මුදාහැරුණා.
ඔහුත් සමඟ පැමිණ පෙරේදා අත්අඩංගුවට ගැනුණු ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා ප්‍රශ්න කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද පස්වරුවේ කළුතර මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න වෙත ඉදිරිපත් කළා.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
ප්‍රශ්න කිරීම්වලදී ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ වසර ගණනාවක සිට පවතින හිතවත්කම මත තමන් මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සාදයට සහභාගි වූ බවයි.
කෙසේ වෙතත්, කළුතර – එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර සමයං ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියා කියා සිටියා.
මේ අතර, පාතාල නායක කංජිපානි ඉම්රාන් ඇතුළු ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සදහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ, පොලිස්පතිවරයා විසින් පත්කළ මෙම කමිටුවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.සී.ඒ. ධනපාල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළත් බවයි.
එමෙන්ම කොළඹ දකුණ භාර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා, කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරි උදය හේමන්ත සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ද ඊට ඇතුළත්.