Gossips

දකුණු පළාත් සභාවට මල් වඩම් සමඟ මිනී පෙට්ටියක්

1999 වසරේ කළමනාකාර සහකාර තනතුරට බඳවාගෙන 2006 වසරේ ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ පිරිසක් අද දකුණු පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.
ලංකා ගුරු සේවා සංගමය නියෝජනය කරන ඔවුන් ඉල්ලා සිටියේ තමන් කළමනාකාර සහකාර තනතුරේ කටයුතු කළ කාලයද ගුරු සේවයට ඇතුළත් කරන ලෙසයි.
විරෝධතාවට දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන ෂම්මු ආරියවංශ, අරුණ ගුණරත්න සහ කපිල දිසානායකද එක්ව සිටි අතර, පිරිස මල්වඩම් සහ මිනී පෙට්ටියක්ද රැගෙන විරෝධතාවයේ නිරතවූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව විරෝධතාකරුවන් පළාත් සභාවේ ප්‍රධාන ගේට්ටුව විවෘත කරගනිමින් පළාත් සභා භූමියට පැමිණයත්, ඔවුන්ට පරිශ්‍රයට ඇතුලුවීමට අවස්ථාව සැළසුනේ නැහැ.
පැය එකහමාරක් පමණ පළාත් සභා පරිශ්‍රය ඉදිරිපිට මිනී පෙට්ටියද තබාගෙන ඔවුන් විරෝධතාවයේ නිරතවූ අතර, සභා වාරය අවසන්වී පැමිණි පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර ඔවුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන බව පැවසීමෙන් පසු පිරිස විසිර ගියා.