Gossips

තිස්ස අත්තනායකට එරෙහි කූට ලේඛණ නඩුව සමථයකට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව සමතයකට පත් කර ගැනීමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි විත්තිය සහ පැමිණිල්ල අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
ඒ අනුව එම සමතය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වාර්තා කිරීම සඳහා ලබන මස 04 වනදා නඩුව යලි කැදවීමටයි විනිසුරුවරයා නියෝග කළේ.
පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා මොහුට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
2014 වසරේ දෙසැම්බර් මස දිනකදී කොළඹ ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකළේ ගිවිසුමේ පිටපතක් ලෙස හැදින් වූ ලේඛනයක් ද ඉදිරිපත් කරමින්.
මෙම නඩුවට සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අවස්ථා හයකදී සිතාසි නිකුත් කර තිබුණත් ඔවුන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
කෙසේ වෙතත් අද නඩුව කැදවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කලිංග ඉන්දතිස්ස සහ පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.