Gossips

දිනකට පැය 04 ක විදුලිය කපන යෝජනාව ගැන තීරණය අද

දිනකට පැය 4 ක් රට පුරා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තාවනවා.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ මේ වනතෙක් විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳ දැනුම්දීමක් තමන් වෙත සිදුකර නොමැති බවයි.
වියළි කාලගුණ තත්ත්වය හමුවේ අධික විදුලිය ඉල්ලූමක් පැවතීම හේතුවෙන් සියළුම ප්‍රදේශවලට දිනකට පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකරන ලෙස විදුලි ඉංජිනේරු සංගමය විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ට දැනුම්දී තිබුණා.
ඒ අනුව දිවා කාලයේදී පෙරවරු 8.30 සිට පෙරවරු 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්, පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වාත් ඒ ඒ ප්‍රදේශවලට විදුලිය විසන්ධි කිරීමටයි යෝජනා කර තිබුණේ.
එමෙන්ම රාත්‍රී කාලයේදී පස්වරු 6 සිට පස්වරු 7 දක්වාත්, පස්වරු 7 සිට 8 දක්වාත්, පස්වරු 8 සිට පස්වරු 9 දක්වාත්, පස්වරු 9 සිට පස්වරු 10 දක්වාත් පැයක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
මේ අතර, ඉරිදා දිනයේදී විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, සෙනසුරාදා දිනයේදී පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
ඒ අනුව පෙරවරු 8.30 සිට 10.45 දක්වාත්, පෙරවරු 10.45 සිට පස්වරු 1 දක්වාත්, පස්වරු 1 සිට පස්වරු 3.15 දක්වාත්, පස්වරු 3.15 සිට පස්වරු 5.30 දක්වාත් විදුලිය විසන්ධි කෙරෙන බවයි ඉංජිනේරු සංගමය සඳහන් කළේ.
එමෙන්ම රාත්‍රි කාලයටද පැය බැගින් විදුලිය කප්පාදු සිදු කෙරෙනු ඇති.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසමේ ආයතන සහ සන්නිවේදන අංශයේ අධ්‍යක්‍ෂ ජයනාත් හේරත්ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් මෙතෙක් තම කොමිසම දැනුම්වත් කර නොමැති බවයි.