Gossips

හම්බන්තොට පිරිපහදුවේ ඉදිකිරීම් අද ඇරඹේ – ඕමාන තෙල් ඇමතිත් ශ්‍රී ලංකාවට

හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සැළසුම් කර ඇති ඉන්ධන පිරිපහදු කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
එහි සමාරම්භක කටයුතු වෙනුවෙන් සහභාගි වීමට ඕමානයේ ඛනිජ තෙල් සහ ගෑස් පිළිබද අමාත්‍ය ආචාර්ය මොහොමඩ් හමාඩ් අල් රම්හි ඊයේ දිවයිනට පැමිණි බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළා.
කෙසේ වෙතත්, මතභේදයට ලක්වී ඇති හම්බන්තොට නව තෙල් පිරිපහදු ආයෝජනය සැබවින්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඩී.එම්.කේ. පක්ෂ දේශපාලනඥයෙකුගේ පවුලේ ව්‍යාපාරයක් විසින් සිදුකරනු ලබන්නක් බව හින්දු පුවත්පත මීට පෙර හෙළිදරව් කළා.
මෙරට හින්දු වාර්තාකාරිනිය ඉදිරිපත් කර ඇති වාර්තාවක දැක්වුණේ ඩොලර් බිලියන 3.85ක තෙල් පිරිපහදු ආයෝජනයෙන් ඩොලර් මිලියන 1887ක් සිංගප්පුරුව කේන්ද්‍ර කොටගත් සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම විසින් සිදුකරන බවයි.
එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 4 දෙනෙකුගෙන් තුන් දෙනෙකුම තමිල්නාඩුවේ ඞී.එම්.කේ. පක්ෂ හිටපු ඇමතිවරයෙකු වන ජගත්‍රාක්ෂකන් ගේ පවුලේ සාමාජිකයන් බව හින්දු වාර්තාකාරිනිය හෙළිදරව් කළා.
ඒ අනුව යෝජිත තෙල් පිරිපහදුවේ ආයෝජනයෙන් සියයට 70ක්ම ඉන්දීය හිමිකාරීත්වය සහිත සිංගප්පූරු සමාගම විසින් සිදුකරන බවයි ඇය පෙන්වා දෙන්නේ.
පිරිපහදුවේ ඉදිකිරීම් ඕමානයේ තෙල් සහ ගෑස් සමාගම ප්‍රධාන ආයෝජකයන් සමඟ නුදුරේදීම ආරම්භ කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පසුගිය දා ප්‍රකාශ කළා.
එහෙත්, ඕමාන රජය කියා සිටියේ අදාළ ආයෝජනයට තම රජයේ ඍජු සම්බන්ධයක් නොමැති බවයි.
කෙසේ වෙතත්, පසුගිය 21 වනදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද ආරම්භ කිරීමට යන බව කියන මෙම ව්‍යාපෘතිය පිළිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
එමගින් ඔවුන් දක්වා ඇත්තේ ඉදිකිරීමට යෝජිත මෙම තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ඕමානයේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිළිබද අමාත්‍යාංශය සහ සිල්වර් පාර්ක් ජාත්‍යන්තර සමාගම අතර, ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි.
ඕමාන තෙල් සමාගම මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වා ඇති බවත්, මේ සදහා සියයට 30ක දායකත්වයක් ලබාදීමට එම සමාගමේ අවධානය යොමුව ඇති බවත්, ආයෝජන මණ්ඩලය සදහන් කළා.
එසේම, මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඕමාන ජාත්‍යන්තර වෙළද සමාගම දන්වා ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වුණේ.
ඕමාන ඛනිජ තෙල් සහ ගෑස් පිළිබද අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීම පිලිබඳව නිවේදනයක් නිකුත් කරමින් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය කියා සිටියේ ඕමාන තෙල් පිරිපහදු සහ පෙට්‍රෝලියම් කර්මාන්ත සමාගම හම්බන්තොට පිහිටුවන ග්‍රීන් ෆීල්ඩ් තෙල් පිිරිපහදුවේ පාර්ශවකරුවන් වීමට කැමැත්ත පළ කර ඇති බවයි.
ඕමාන තෙල් සමාගමේ සියයට සියයක හිමිකාරත්වය පවතින්නේ ඕමාන රජයටයි.
අද තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගිවන ඕමාන ඛනිජ තෙල් සහ ගෑස් පිළිබද අමාත්‍ය ආචාර්ය මොහොමඩ් හමාඩ් අල් රම්හි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අනෙකුත් අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිත බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.