Gossips

උදව්වට කිසිවෙක් නැතිවෙයි – ඉසුරු උදානගේ මිනිත්තු 54ක සුපිරි ක්‍රියාන්විතය මුල්පෙළ පිතිකරුවන් නිසා දියවී යයි

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (22) පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟය පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ ලකුණු 16කින්.
කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩයමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලු 03ක් දැවී ලකුණු 180ක් රැස් කළා.
දකුණු අප්‍රිකානු පළමු කඩුල්ල ලෙස ඒඩන් මාක්ක්‍රම් ලකුණු 3ක් ලබාගෙන සිටියදී දවා ගන්නට ඉසුරු උදාන සමත් වුණා.
කෙසේ වෙතත් ඉන්පසුව පිටියේ ස්ථාවර වූ රීසා හෙන්ඩ්‍රික්ස් සහ වෑන් ඩේ ඩුසෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් දෙවන කඩුල්ලට ලකුණු 116ක සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම ගොඩ නැඟුවා.
එහිදී වෑන් ඩේ ඩුසෙන් ලකුණු 64ක් රැස් කළ අතර රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 65ක් රැස් කළා.
දකුණු අප්‍රිකානු ඉනිමේ 14 වන පන්දු වාරයේදී රීසා හෙන්ඩ්‍රික්ස් දැවී යාමෙන් පසු පිටියට පිවිසි ජේ.පී ඩුමිනි පන්දු 17කදී වේගවත් ලකුණු 33ක් රැස් කරමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ලකුණු 180ක් දක්වා ඉහළ නැංවීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ලසිත් මාලිංග, ඉසුරු උදාන සහ අකිල ධනංජය කඩුලු එක බැගින් බිඳ දැමුවා.
ලකුණු 181ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 09ක් දැවී ලකුණු 164කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා.
එහිදී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය මෙම තරඟයේදීත් කැපී පෙනුණු අතර සිදුවන්නට ගිය අවමන් සහගත පරාජයෙන් මුදවා ගන්නට හුදෙකලා ඉනිමක් දියත් කළ ඉසුරු උදාන සමත් වුණා.
ඉසුරු උදාන මිනිත්තු 54ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 48කදී නොදැවී ලකුණු 84ක් රැස් කළේ හයේ පහර 06ක් සහ හතරේ පහර 08ක් සමඟින්.
කෙසේ වෙතත් ඔහුගේ ප්‍රතිප්‍රහාරය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුනේ මුල්පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන්.
පන්දු යැවීමේදී ක්‍රිස් මොරිස් කඩුලු 03ක් බිඳ දැමු අතර ඩේල් ස්ටේන් සහ ශම්සි ශ්‍රී ලංකා කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.
ඒ අනුව දෙවන තරඟය ලකුණු 16 කින් ජයගත් දකුණු අප්‍රිකාව තරඟ තුනකින් සමන්විත 20-20 තරඟාවලිය ජයගන්නට දකුණු අප්‍රිකාව සමත් වුනේ තවත් තරඟයක් ඉතිරිව තිබියදීයි.