Gossips

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස, සංරක්ෂණය කිරීමේ යෝජනාව, අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව ප්‍රකාශයට පත් කෙරෙන ජාතික පුණ්‍ය මහෝත්සවය අද ශ්‍රී දළඳා මාලිඟාවේ මහ මළුවේදී පැවැත්වෙනවා.
පස්වරු 2 ට අති පූජනීය ත්‍රෛනිකායික මහානාහිමියන් වහන්සේලා ප්‍රමුඛ සංඝරත්නගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට ථේරවාද බෞද්ධ රටවල සාමූහිකත්වයෙන් ශ්‍රී ලංකාව, යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම මෙහිදී සිදුවනවා.
නිර්මල බුද්ධ ධර්මයෙහි චිරස්ථිතිය සාක්ෂාත් කරනු වස්, උතුම් ත්‍රිපිටක ධර්ම දායාදය ජාතික උරුමයක් ලෙස, ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා කටයුතු කළා.
එමෙන්ම, මෙම ඓතිහාසික කටයුත්ත වෙනුවෙන් පසුගිය 16 වනදා සිට අද දිනය දක්වා ‘‘ත්‍රිපිටකාභිවන්දනා’’ සතියක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, එය මුල් කර ගනිමින් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණා.
ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳව සහ අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුත් යහපත් ජීවිතයකට මඟ පෙන්වන බෞද්ධ දර්ශනය පිළිබඳව පාසල් දරුවන්ට හා ජනතාවට අවබෝධයක් ලබාදීමේ වැඩසටහන් සහ දානමය පුන්‍ය කර්ම ඇතුළු ආගමික වැඩසටහන් රැසක් පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක කෙරුණා.
අද පැවැත්වෙන ජාතික මහෝත්සවයට ත්‍රෛනිකායික මහා සංඝරත්නයට අමතරව, ථේරවාද බෞද්ධ රටවල හිමිවරුන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා, විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඇතුලූ දෙස් විදෙස් නියෝජිතයින් රැසක් එක්වීමට නියමිතයි.