Gossips

වෙඩි තැබුවාද ? වෙඩි වැදුණාද ? බෙලිඅත්තේ විපක්ෂ නායකගේ මරණයට හේතුව හෙළිවෙයි

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන්ගේ මරණය ඝාතනයක් නොව සියදිවි හානි කර ගැනීමකින් බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බව පොලිසිය පවසනවා.
පසුගිය බදාදා බෙලිඅත්ත – පල්ලත්තර – මොදරවාන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ වෙඩි වැදී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද පෙරවරුවේ ඔහු ජීවිතක්ෂයට පත්වුණේ.
කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී කියා සිටියේ අධික රුධිර වහනය ඔහුගේ මරණයට හේතුවූ බවයි.
ඔහුට වෙඩි තැබූ කිසිවෙකුත් නිවසේ සිටි කිසිවෙකු දැන නොතිබූ අතර, සිද්ධිය සිදුවූ අවස්ථාවේ ඔහු රැඳී සිටි කාමරයේ ජනෙල් දොරවල් වසා තිබූ බව ද පොලීසිය ප්‍රකාශ කළා.
ඔහු නිදා සිටි ඇදෙහි මෙට්ටය යට තිබී බෝර 12 ගිනි අවියක් සහ ඒ සඳහා භාවිත කරන පතොරම් 4 ක් ද පසුව සොයා ගත්තා.
නිවසේ සිටි 21 හැවිරිදි සේවිකාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් එම නිවසේ ළිඳ ආසන්නයේ තිබී සොයා ගත් අතර එම ගිනි අවියෙන් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වෙඩි තබාගෙන ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
ඒ අනුව ඔහු වෙඩි තබා ගත් බවට සැකකෙරෙන ගල්කටස් වර්ගයේ ගිනි අවිය සහ කාමරයේ තිබි සොයාගත් ගිනි අවිය සහ පතොරම් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැදවා ඇති බව පොලීසිය කියා සිටියා.
එතෙක්, ඔහුගේ කාමරයට මුද්‍රා තබා ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකු කියා සිටියේ.
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුවක් හේතුවෙන් කලක සිට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සිත් තැවුලකින් සිට ඇති බව ද පොලිසිය සිදු කළ පරික්ෂණ වලදී අනාවරණය වුණා.