Gossips

අරුවක්කාලූ විරෝධතාවයේදී 15 දෙනෙකුට තුවාල

පුත්තලම – අරුවක්කාලූ කසල අංගනයට එරෙහිව ප්‍රදේශවාසීන් පුත්තලම නගරයේ අද සංවිධාන කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී ඊට එක්ව සිටි 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කොළඹ කුණු ජනතා විරෝධය නොසලකමින් පුත්තලමට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමිනුයි ඔවුන් විරෝධතාවයේ නිරත වුණේ.
එහිදී විරෝධතාකරුවන් පුත්තලම අනුරාධපුර මාර්ගයේ අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අතර, ඒ හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වුණා.
මහජන පීඩාවන් සිදුවන ආකාරයට සිදුකරනු ලබන කිසිදු විරෝධතාවක් නොපවත්වන ලෙසට පුත්තලම පොලිසිය ලබාගෙන තිබූ අධිකරණ නියෝගයද නොතකමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.
කෙසේ වෙතත්, විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් කැරලි මර්දන ඒකකය මෙන්ම ජල ප්‍රහාරක රථයක්ද එම ස්ථානයට කැඳවා තිබුණා.
අනතුරුව විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කටයුතු කළ අතර, එහිදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
එහිදී තුවාල ලැබූ 15 දෙනා අතරින් කාන්තාවන් දෙදෙනෙකු සහ තරුණයෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, විරෝධතාවට එක්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේයී.