Gossips

වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ජීවිතක්ෂයට

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන්ගේ මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
පසුගිය බදාදා බෙලිඅත්ත – පල්ලත්තර – මොදරවාන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි අද උදෑසන ඔහු ජීවිතක්ෂයට පත්වුණේ.
මොහුට වෙඩි වැදී ඇති බව මුලින්ම දැක ඇත්තේ විපක්ෂ නායකවරයාගේ මව විසින්.
එම අවස්ථාවේ ඔහුගේ දරුවන් ද නිවසේ සිට ඇති අතර, ඔවුන් වෙඩි තැබූ කිසිවෙකුත් දැක නොමැති බව බෙලිඅත්ත පොලීසිය කියා සිටියා.
වෙඩි වැදීම සිදුවූ මොහොතේ ඔහු රැඳී සිටි කාමරයේ ජනෙල් දොරවල් වසා තිබීමද විශේෂත්වයක්. එසේම බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන නිදා සිටි ඇදෙහි මෙට්ටය යට තිබී බෝර 12 ගිනි අවියක් සහ ඒ සඳහා භාවිත කරන පතොරම් 4 ක් ද සොයා ගැනුණා.
මෙය සිය දිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.
මොදරවාන ප්‍රදේශයේ සහ අදාළ නිවස ආශ්‍රිතව සිදුකළ විමර්ශනවලදී ද වෙඩි තබා ගැනීම සිදුවූ ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බවයි පොලීසිය පවසන්නේ.
කෙසේ වෙතත්, බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා මිය යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පාදයට වෙඩි වැදීමෙන් ඇති වූ අධික රුධිර වහනය හේතුවෙන් බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.