Gossips

විල්පත්තු ගැටළුව පාර්ලිමේන්තුවට – ඇමති බදියුදීන්ට එරෙහි පෙත්සම විභාග කිරීම ජුනි 28

හිරු ප්‍රවෘත්ති තුළින් මීට පෙර අනාවරණ කළ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වී ඇති විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වුණා.
ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමුකළ ප්‍රශ්නයක් සමඟයි.
එහිදී ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටියේ විල්පත්තු රක්ෂිතයට අයත් ඉඩම් ප්‍රදේශයක කිසිදු පදිංචි කිරීමක් කර නොමැති බවයි.
එමෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් කරනු ලැබුවේ යුද සමයේදී ඉඩම් අහිමි වූ ජනතාවට නැවත ඉඩම් ලබාදීම සඳහා පමණක් බවයි.
මේ අතර, විල්පත්තු රක්ෂිතය ආසන්නයේ ඇති විලත්තිකුලම් රක්ෂිතය නීතිවිරෝධී ආකාරයෙන් හෙලි පෙහෙලි කර ජනාවාස ඇති කිරීමට කටයුතු කර ඇති බව පවසමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති රීට් පෙත්සම ලබන ජුනි මස 28 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ, නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති මෙම පෙත්සම, අභියාචනාධිකරණ විනිසුරු අර්ජුණ ඔබේසේකර හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයී.
එමෙන්ම, අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ වත්කම් බැරකම් පිළිබඳව සොයා බලන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.