Gossips

තෙල් පිරිපහදුවක් ගැන ආණ්ඩුව කියූ කතාව ඕමානය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම් සඳහා තම රටේ සමාගමක් ආයෝජනය කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඕමාන රජය සඳහන් කළා.
පසුගියදා ආයෝජන මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළේ හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩල ඉතිහාසයේ විශාලම ආයෝජනය බවයි.
කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ ආයෝජනයෙන් සියයට 30 ක් ඕමාන සමාගමක් සිදුකරන බව ප්‍රකාශ කළ ද ඕමානයේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිළිබඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් සලීම් අල් අව්ෆි ප්‍රකාශ කළේ මෙම ආයෝජනය සම්බන්ධයෙන් සිය පාර්ශවය කිසිවක් නොදන්නා බවයි.
එම පුවත රොයිටර් පුවත් සේවය ද වාර්තා කර තිබුණා.
ඕමානයේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිළිබඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් සලීම් අල් අව්ෆි රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ එම ආයෝජනයට අදාළ චෙක්පතට කවරෙකු විසින් අත්සන් තැබුවේ ද යන්න පිළිබඳව තමා නොදන්නා බවයි.
මේ අතර, අද පස්වරුවේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද ආරම්භ කිරීමට යන බව කියන මෙම ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
එමගින් ඔවුන් දක්වා ඇත්තේ ඉදිකිරීමට යෝජිත මෙම තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ඕමානයේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිළිබඳ අමාත්‍යාංශය සහ සිල්වර් පාර්ක් ජාත්‍යන්තර සමාගම අතර, ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි.
ඕමාන තෙල් සමාගම මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වා ඇති බවත්, මේ සඳහා සියයට 30 ක දායකත්වයක් ලබාදීමට එම සමාගමේ අවධානය යොමුව ඇති බවත්, ආයෝජන මණ්ඩලය සඳහන් කළා.
එසේම, මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඕමාන ජාත්‍යන්තර වෙළඳ සමාගම දන්වා ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවෙනු ඇතැයිි පූර්ණ විශ්වාසයක් ඇති බවට සිංගප්පූරුවේ සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සමාගම ආයෝජන මණ්ඩලයට ප්‍රකාශ කර ඇති බව ද එහි සඳහන්.
මේ අතර, මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද සංවාදයට බඳුන් වුණා.