Gossips

නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ දෙවන සාකච්ඡාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර, දෙවන නිල සාකච්ඡාව අද පැවැත්වෙනවා.
ඒ, විපක්ෂ නායක කාර්යාලයේදියි. නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙහිදී ආර්ථික, අධ්‍යාපන ඇතුළු නව සන්ධානයේ ප්‍රතිපත්ති පිළිබඳ මූලික එකඟතාවකට පැමිණීමට නියමිත බවයි.
පසුගිය 14 වනදා විපක්ෂ නායක කාර්යාලයේදී පළමු නිල සාකච්ඡාව පැවති අතර, දෙපාර්ශවයම නියෝජනය කරමින් 6 දෙනෙකු ඊට සහභාගි වුණා.
එම සාකච්ඡාවට සහභාගිවීමෙන් අනතුරුව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ මෙම සාකච්ඡා අතිශය සාර්ථක බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස එක්වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත සහභාගි වී තිබුණා.