Gossips

ථේරවාදී පාලි ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුලත් කිරීමට විද්වත් කමිටුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකලපයක් මත ක්‍රියාත්මක ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේ තවත් අදියරක් අද පෙරවරුවේ පැවැත්වුනේ පොළොන්නරුව – මැදිරිගිරිය වටදාගේ පුන්‍ය භුමිය කේන්ද්‍ර කරගනිමින්.
අදට යෙදි තිබෙන මැදින් පුර පසළොස්වක පොහෝය දිනයත් සමග ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් අද පැවැත්වුණා.
ගුවනින් වැඩම කරනු ලැබු සර්ව ධාතුන් වහන්සේ රථ පෙළපාලියකින් මැදිරිගිරිය වටදාගේ පුණ්‍ය භූමිය දක්වා වැඩම කළා.
සැදැහැවතුන්ට හෙට පස්වරුව දක්වා මෙම සර්වඥ ධාතුන් වහන්සේ වැද පුදා ගැනීමට අවස්ථාව උදා වනවා.
ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් පසුගිය 16 වනදා සිට ලබන 23 වන දා දක්වා සතිය ‘‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’’ ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ වෙනුවෙන් සියළු නිවෙස්වල විහාරස්ථානවල සහ ආයතනවල මෙන්ම රථ වාහනවල අද සිට බෞද්ධ ධජය ඔසවා තබන ලෙසට ත්‍රිපිටකය ලෝක උරුමයක් සඳහා පත් කෙරුණු කමිටුව සියළු ජනතාවගෙන් ඉල්ලා සිටියා.
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලූ බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ලබන 23 වනදා පැවැත්වෙනවා.
ඒ, ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වයෙන් ශ්‍රී දළදා මාළිගාවේදියි.
එසේම ථේරවාදී පාලි ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුලත් කිරීමේ තාක්ෂනික ක්‍රියාවලිය වෙනුවෙන්ද ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.