Gossips

වකුගඩු රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙසට අඩුවී ඇතැයි ජනපති කියයි

දිවයින පුරා වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව මේවන විට සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
කවුරුන් කුමන විවේචන සිදු කළ ද ගතවු වසර 4ක කාලය තුළ රටේ මහජන සේවාවන් වඩා ශක්තිමත් වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
අහිංසක ජනතාව වෙනුවෙන් එම සේවාවන් තවදුරටත් පුළුල් කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව කියාසිටියේ ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437ක මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධ ව ඉදිරන ලද ,මෙත්සිරි සෙවණ, වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට එක්වෙමින්.
අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මේ වන විට වකුගඩු රෝගින් 17,000ක් පමණ හඳුනාගෙන තිබෙන අතර එම රෝගීන්ට එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් මෙම මධ්‍යස්ථානයේ පවතිනවා.
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සදහා ද මෙහි පහසුකම් සපයා ඇති අතර සෞඛ්‍ය පිළිබද දැනුවත් කිරීමේ දේශන ශාලා ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි.
මේ අතර මිහින්තලයේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් නිවාඩු නිකේතනයේ ස්ථාපනය කර ඇති 601 වන ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුනා.