Gossips

හිරු ධර්ම ප්‍රදීපය අද බදුල්ල – ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේදී

මැදින් පුන් පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ හරහා සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමටයි හිරු එෆ්.එම්. සූදානමින් සිටින්නේ.
උදෑසන 06.00 ට අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වූ අතර, එහිදී පිරිස අෂ්ඨාංග ශීලය සමාදම් කරමින්, ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ විංසද් වාර්ගික කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මුරුත්දෙණියේ ධම්මරතන හිමියන් විසින්.
උදෑසන 07.30ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වෙන අතර, පූජ්‍ය පිටිගල ධම්ම විනීත හිමියන් විසින් ධර්ම දේශනාව සිදුකරනු ලබනවා. විශේෂ ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ පෙරවරු 08.30 සිට 10.00 දක්වායි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය පොලොංමරුවේ වාචීස්සර හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහින්ද හේරත්, වෛද්‍ය අසිත නිලංග මෙම ධර්ම සාකච්ඡාව සඳහා එක්වනු ඇති. උදෑසන 10 සිට උදෑසන 11.00 දක්වා විශේෂ කවි බණ වැඩසටහනක් පූජ්‍ය කාව්‍ය විශාරද සරණසිරි හිමියන් විසින් සිදුකරනු ලබනවා.
එමෙන්ම තවත් ධර්ම සාකච්ඡා ඇතුලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් හිරු ධර්මප්‍රදීපය වැඩසටහන යටතේ බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතයි.