Gossips

අනිද්දා සිට යළි වැසි වැඩිවේ – අක්කරෙයිපත්තුවට තද සුළං

අනිද්දා සිට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ අද දිනයේදීද දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර නැගෙනහිර, සහ ඌව පළාත්වලත් පොලොන්නරුව,මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගිරුම්සහිත වැසි ඇතිවන බවද අද උදෑසන නිකුත්කර ඇති කාලගුණ නිවේදනයේ සඳහන්.
සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
එමෙන්ම අම්පාර – අක්කරෙයිපත්තුව ප්‍රදේශය හරහා ඊයේ රාත්‍රියේ හමා ගිය තද සුළඟකින් එම ප්‍රදේශයේ නිවාස 25 කට පමණ දැඩි අලාභහානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
මේ අතර වියළි කාලගුණය අවසන් කරමින් පසුගියදා මුලතිව් දිස්ත්‍රික්කයට ඇදහැලුනු අධික වැසි හේතුවෙන් මෙවර මහකන්නයේ නෙලාගත් අස්වනු වේලාගත නොහැකිව ගොවීන් දුෂ්කරතා රැසකට මුහුණදී ඇති බව වාර්තාවනවා.