Gossips

කැවුමා ඇල්ලීමෙන් පසු විමර්ශන නිලධාරීන්ට බලපෑම්

ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැවුමා අත්අඩංගුවට පත් වීමෙන් පසු විවිධ ක්‍රම ඔස්සේ විමර්ශන නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති බවට වාර්තා වනවා.
මේ මස 05 වනදා පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක රැදී සිටියදී කොල්ලකන ලද දියමන්තියක් බවට පැවසෙන පාෂාණය සමඟ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින්.
අනතුරුව පොලිසිය රැදවුම් නියෝග ලබාගෙන කැවුමා නමැත්තාගෙන් ප්‍රශ්ණ කිරීම් සිදුකළ අතර නීතිඥවරුන් කිහිප දෙනෙකු පෑලියගොඩ පොලිස් ස්ථානය රැදී සිටිමින් ප්‍රශ්න කිරීම්වලට බාධා වන අන්දමින් හැසිරුණු බවයි එහි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
එමෙන්ම කැවුමා නමැත්තාගේ මව විසින් ඔහුව අත්අඩංගුවට ගත් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පොලිස්පති සහන මැදිරිය සහ පෑලියගොඩ පොලිසියේ පැමිණිලි තුනක් ද ගොනු කර තිබෙනවා.
ඒ තම පුත්‍රයා ඝාතනය කිරීමේ සූදානමක් පවතින බව පවසමින්.
එමගින් ද අපේක්ෂා කර ඇත්තේ සැකකරුගෙන් ප්‍රශ්ණ කර වැඩිදුර තොරතුරු හෙලි කර ගැනීම වලක්වාලීම බවයි එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ.
පොලිස් භාරයේ සිටියදී සැකකරු නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි නීතිඥවරයෙකුට රුපියල් ලක්ෂයක් වැනි විශාල මුදලක් ලබා දී ඇතැයි තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට පත් වීමෙන් පසු කැළුම් ඉන්දික හෙවත් කැවුමා නමැත්තා රැදී සිටි බව පැවසෙන මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය එහි තිබී මත්කුඩු කිලෝ 177ක් සොයාගනු ලැබුවා.
මේවා මාකදුරේ මධූෂ්ට අයත් මත්කුඩු බවටයි පසුව හෙලි වුණේ.