Gossips

යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

යුද සමයේ සිවිල් ජනතාවට එරෙහි අපරාධ සිදු නොවූ බවට සහතික විය හැකි බැවින් ඕනෑම පරීක්ෂණයකට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.
මේ අතර යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජිනිවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවක නිරත වුණා.
ගෝලීය ශ්‍රී ලංකා සංසදය මෙම විරෝධතාව සංවිධාන කළේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මානව හිමිකම් කොමිසම අනවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවට චෝදනා කරමින්.
ඒ සඳහා ඉතාලිය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව එක්ව සිටියා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවටද ඔවුන් විරෝධය පලකළා.
විරෝධතාවට එක්වූ කාන්තාවක්
අපි ඔක්කෝම ශ්‍රීලාංකික ජනතාව. අපිට දෙමළ, සිංහල, මුස්ලිම් කිසිම භේදයක් නැහැ. අපි මෙතනට ආවේ ඇයි කියලා පැහැදිලි කරන්න ඕන. අපිට එල්.ටී.ටී.ඊ. එක අවශ්‍ය නැහැ. නැවතත් එල්.ටී.ටී.ඊ. ය පැමණිය යුතු නැහැ. එල්.ටී.ටී.ඊ. යළි හිස එසෙව්වොත් ඒක අපේ ජනතාවට බරපතල කරදර රැසක් ඇති කරනු ඇති. ඒක සිදුවිය යුතු නැහැ කියන එක අවධාරණය කරන්න තමයි අපි අද මෙතැනට රැස්වෙලා ඉන්නේ.
මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට සමගාමීව දෙමළ ඩයස්පෝරාව සංවිධාන කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සමාන්තර සැසියක් අද පැවැත්වුණා.
ඊට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිතයන්ද සහභාගී වූ අතර ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් යන මහත්වරුන්ද එක්ව සිටියා.
කෙසේ වෙතත් එම අවස්ථාව ආවරණය කිරීමේ අවස්ථාව මෙරට මාධ්‍යවේදීන්ට ලබා නොදීමට සංවිධායකයන් කටයුතු කිරීම විශේෂත්වයක්.
-නීතීඥ ගැමුණු කරුණාරත්න – ලේකම් -ගෝලීය ශ්‍රී ලංකා සංසදය
– ශ්‍රී ලංකා රාජ්‍යයේ මහජනතාවගෙන් වේතන ලබන කිසිවෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කරලා තියෙන ඒකීය රාජ්‍ය තත්ත්වයට විරුද්ධව කිසිදෙයක් කළ නොහැකියි. අද අපිට දැනගන්නට ලැබුණා සමාන්තර රැස්වීම් දෙකක් පැවැත්වෙනවා. එය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජයට එරෙහි සමාන්තර සැසිවාර දෙකක්. දැන්වීම් පුවරුවේ දාලා තියෙනවා, එස්. ශ්‍රීධරන් මෙම්බර් ඔෆ් පාර්ලිමන්ට්, ටැමිල් නැෂනල් එලායනස්. මොවුන් කෙසේද අවසර ගත්තේ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව කටයුතු කරන්න.
මේ අතර, දෙමළ ජනතාවගේ ගැටලුවලට විසදුමක් ලබා ගැනීමට නම් දෙමළ ඊලාම් ආණ්ඩුවක් බිහි විය යුතු බව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරියෙකු වන වී. රුද්‍රකුමාරන් පවසනවා.
ස්කයිප් තාක්ෂණය ඔස්සේ යාපනයේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ ඒ සදහා උතුරු නැගෙනහිර පළාත්වල කඩිනමින් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.
මේ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් පිරිසක් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා නොදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම, සන්නද්ධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීම, බලය බෙදීම, ආරක්ෂාව සම්බන්ධ නීති ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම, විදේශීය අධිකරණ විනිසුරුවරුන්ගේ මැදිහත් වීම ඇති කිරීම ඇතුළු කරුණු රැසක් ජිනිවා යෝජනාවලියට ඇතුළත් බව අදාළ ලිපියේ සදහන්.
උපුටා ගැනීම..
ඉතා පුළුල් පරාසයක විහිදී ඇති මෙකී යෝජනාව ක්‍රියාත්මක කිරීම ස්වාධීන රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට බලවත් තර්ජනයක් වන බැව් අපගේ අවංක විශ්වාසය වේ. එබැවින් මෙම තත්ත්වය කෙරෙහි ඔබතුමාගේ හදිසි අවධානය යොමුකොට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීම හා අනෙකුත් රටවලට එම තත්ත්වය යටතේ අප වෙනුවෙන් පෙනී සිටීමට පෙළඹවීමට මෙරට නියෝජනය කරන ජිනීවා නුවර තානාපති බලධාරීන්ට කඩිනමින් උපදෙස් ලබාදෙන ලෙස පහතින් අත්සන් කරන පක්ෂ නායකයින් වන ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලමු.
උපුටා ගැනීම අවසන්…
මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කළේ යුදහමුදාව ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවයි.
ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක – යුද හමුදාපති
– ජාත්‍යන්තරයේ බලපෑම් තියෙන අවස්ථාවේදී ඉතාමත් බුද්ධිමත්ව රජයක් හා යුද හමුදාවක් කටයුතු කරන්න ඕන. වසර 10 ක් වෙනවා මේ වෙනකොට යුද්ධය අවසන් වෙලා. අපි මේ කරපු දේවල් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් වර්ණනා කරන එක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ පරණ දේවල්වලට වඩා. කිසිම ලෝකේ යුද්ධයක් සිවිල් ජනතාවට හානියක් නොවන ආකාරයෙන් ඉතිහාසයේ සිද්ධ වෙලා නැහැ. එකෙන් අදහස් වෙන්නේ යුද හමුදාව ඒක කළා කියන එක නෙමෙයි. සටනකදී ඒ දෙපැත්තටම ඒ අඩුපාඩුකම් සිදු වෙන්න පුළුවන්. තුවාල මරණ සිදුවෙන්නට පුළුවන්. අවශ්‍ය වෙන්නේ මෙහිදී බුද්ධිමත්ව ජාත්‍යන්තරව කියන දේවල් නෙමෙයි මේ රටේ තියෙන අනන්‍යතාවය ඇති කරගෙන ඒ හමුදාවලට නැවත ඒ ශක්තිය ලබාදීලා නඩු හබවලින් ජයග්‍රහණය කරන්න කටයුතු කරන එක. ඒ සදහා යුද හමුදාව ඕනෑම පරීක්ෂණයකට සූදානම්. ඒ සහයෝගය දෙනවා මොකද අපි එහෙම දෙයක් කරලා නැති නිසා. පිටරටින් විනිසුරුකරුවන් නෙමෙයි අවශ්‍ය වෙන්නේ අප අපගේ ක්‍රියාදාමයක් තුළින් මේ ප්‍රශ්නයට විසදුමක් ලබා ගන්න එකයි.

rn