Gossips

ඇල්පිටියේ සැකකරුවන් කළක සිට කොල්ලකෑම්වල යෙදුනු බවට තොරතුරු

ඇල්පිටිය – මන්ඩකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් තුන්දෙනා කළක සිට කොල්ලකෑම්වල යෙදුණු පුද්ගලයින් බවට අනාවරණය වී තිබෙනවා.
ඇල්පිටිය පොලිසියට ලද තොරතුරකට අනුව මන්ඩකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් ඊයේ විශේෂ පරීක්ෂාවකට ලක් කර අතර එහි තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, පිස්තෝලයක්, මීලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 3ක්, මන්නා පිහි 2ක්, මුහුණු ආවරණ 4 ක්, අත්මේස් ජෝඩු 2 ක් පසුව සොයා ගැණුනා.
එමෙන්ම එහි තිබී සොරකම් කරන ලද වාහන අංක තහඩු 2 ක් ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් 38 හැවිරිදි වියේ පසුවන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කොල්ලකෑමේ සිද්ධියකට වසර තුනහමාරක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පැමිණි පුද්ගලයෙක්.
එමෙන්ම අත්අඩංගුවට ගත් දෙවන සැකකරු 36 හැවිරිදි ඌරගහ ප්‍රදේශය් පදිංචිකරුවෙකු වනවා.
ඔහු මීට මසකට පෙර මාස 3 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු 20 හැවිරිදි වියේ පසුවන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම කොල්ලකෑමේ කණ්ඩායමට සම්බන්ධ තවත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් අම්බලන්ගොඩ සහ ඌරගහ ප්‍රදේශවල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමට පැමිණ ඇති බවටයි.
මෙම සැකකරුවන් පාතාලය සමඟ සබඳතා පැවැත්වූයේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.