Gossips

මධ්‍යම අධිවේගයට චීනයෙන් ඩොලර් බිලියනයක්

වසර හතරක පමණ කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදීමට චීනයේ එක්සිම් බැංකුව තීරණය කර තිබෙනවා.
එය රුපියල් බිලියන 178 කට ආසන්න මුදලක්. ණය මුදල පමාවීම නිසා ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ඉහළ යාම සහ විනිමය අනුපාත අවප්‍රමාණවීම හේතුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 12 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මහා භාණ්ඩාගාරයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් චීනයේ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුවයි එක්සිම් බැංකුව සහ ලක් රජය අතර ඩොලර් බිලියනයක ණය මුදල සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට පසුගිය සතියේ එකඟත්වය පළවී ඇත්තේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා මෙම ණය මුදල ලබාගැනීමේ සාකච්ඡා ආරම්භවූයේ 2015 වසරේ වත්මන් එක්සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වූ සමයේදියි.
ණය මුදල පමාවීමට මෙරට මූල්‍ය තත්වය, දේශපාලන කරුණු මෙන්ම ඍණාත්මක වාර්තාද බලපා ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ නමුත් ණය මුදල අනුමත වීමත් සමඟ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.