Gossips

ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම හිස් අතින්ම ,දකුණු අප්‍රිකාව හමුවේ පහට බින්දුවක පූර්ණ තරගාවලි පරාජයක්

දකුණු අප්‍රිකාව සමඟ පැවති පස්වන එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාව ඊයේ පරාජයට පත්වූ අතර, ඒ අනුව පහට බින්දුවක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.
කේප් ටවුන් හි දී ඊයේ පැවති පස්වන එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දු වාර 49 යි පන්දු 3 කදී ලකුණු 225 කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 56 ක් රැස් කළා.
ප්‍රියමල් පෙරේරා ලකුණු 33 ක්ද, ඉසුරු උදාන ලකුණු 32 ක්ද, ඇන්ජලෝ පෙරේරා ලකුණු 31 ක්ද රැස් කළ අතර, දකුණු අප්‍රිකාව වෙනුවෙන් කගීසෝ රබාඩා ලකුණු 50 කට කඩුලු 3 ක් බිඳ හෙලුවා.
පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාව පන්දු වාර 28 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටි අවස්ථාවේ ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ඇණහිට තිබෙනවා.
එය යථා තත්ත්වයට පත් කිරීමට ඉංජිනේරුවන් උත්සාහ කළද විනාඩි 90 කට පසුවද එය සාර්ථක නොවූයෙන් තරගය අත්හිටුවීමටයි විනිසුරුවන් තීරණය කළේ.
ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ දකුණු අප්‍රිකාව ලබා සිටිය යුතු වූයේ ලකුණු 91 ක් පමණයි.
ඒ අනුව දකුණු අප්‍රිකානු පිලට තරගයෙන් ලකුණු 41 ක ජයක් හිමිවුණා.
මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකාව මේ වසරේදී සහභාගිවූ එක්දින ජාත්‍යන්තර තරග 9 න්ම පරාජය ලබා ඇති අතර, ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ එකදු ජයග්‍රහණයකින් හෝ තොරවයි.