Gossips

තනතුර අහිමි වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා,සභාපති අධිකරණ ක්‍රියාමාර්ගයකට සැරසේ

තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරි සතියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල් පවසනවා.
ඔහු සභාපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබූ අතර, එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට වරදකරු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
එසේම, ඊට අදාළ ලිපිය ඊයේ ඔහු වෙත යොමුකළ බව එම ප්‍රකාශකයා සඳහන් කළා.
අදාළ ලිපියේ දැක්වෙන්නේ එම සිද්ධියට අදාළ නඩුවේ තීන්දුවට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 262 අධිකාරයේ නමය එක, ‘ක’ වගන්තිය ප්‍රකාරව ඔහු පළාත් පාලන ආයතනයක සභික ධුරයක් දැරීමට නුසුදුසු වන බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 9 වන වගන්තියේ සභිකත්වය ලැබීමට නුසුදුසුකම් සඳහන් වන අතර එහි එකේ ‘ක’ උප වගන්තියේ දැක්වෙන්නේ අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ දක්වා ඇති යම් අපරාධයකට වරදකරු වී මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත වී සිටීම මෙන්ම, එහි කොටසක් විඳිමින් සිටීම එවැනි තනතුරක් දැරීමට නුසුදුසු වන බවයි.
පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වී සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල්ට මාස 3 ක සිරදඬුවමක් නියම වුණේ පසුගිය වසරේ ජුලි මාසයේදීයි.
ඇඹිලිපිටිය – දඩුහැතැක්ම ප්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරතවී සිටි පනාමුරේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී තිබුණේ 2013 වසරේ මැයි මස 27 වැනිදායි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල් කියා සිටියේ මැතිවරණ කොමිසම තමාගෙන් මේ පිළිබඳව කිසිදු කරුණු විමසීමක් හෝ සිදු නොකර මෙම පියවර ගෙන ඇති බවයි.