Gossips

චීවරධාරියෙකු ලෙස පෙනී සිට මුදල් එකතු කළ පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදෙයි

චීවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අල්ලා පොලසියට භාර දීමට ගොඩගම ඛෙත්තාරාම විහාරාධිපති හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
විහාරාධිපති හිමියන් පැවසුවේ අදාළ පුද්ගලයා කලක පටන් මෙම ජාවාරමේ නිරතව ඇති බවට තොරතුරු ලැබෙන බවයි.
ගොඩගම – කෙත්තාරාම විහාරාධිපති හිමියන් වකුගඩු රෝගයකින් පෙළෙන බවත්, රෝගය සුව කිරීම සඳහා මුදල් අවශ්‍ය බවත් සඳහන් කරමින් චීවරධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ තවත් පුද්ගලයෙකු විහාරස්ථානය අවට ප්‍රදේශයේ මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරතව තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරා මෙලෙස මුදල් එකතු කිරීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනා ඊයේ පස්වරුවේ මීගොඩ ප්‍රදේශයේ මුදල් එකතු කරමින් සිටින බවට විහාරාධිපති හිමියන් වෙත තොරතුරු වාර්තා වුණා.
විහාරාධිපති හිමියන් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව අදාළ චීවරධාරියා සහ අනෙක් පුද්ගලයා අල්ලාගෙන තිබෙන්නේ ඒ අනුවයි.
එලෙස අල්ලාගැනීමෙන් අනතුරුව විහාරස්ථානය වෙත රැගෙන ආ අදාල පුද්ගලයින් දෙදෙනා මීගොඩ පොලිසියට භාර දීමට කටයුතු කළා.