ආර්ථික වශයෙන් සමෘද්ධිමත් මෙන්ම විනයගරුක සහ සදාචාරවත් අනාගත පරපුරක් සිටින යහපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
තමන් එම කටයුතු සදහා ප්රමුඛත්වයක් ලබාදෙමින් ඉහළම කැපවීමක් සිදුකරමින් සිටින බවයි කෙන්යාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සමග ඊයේ (15) රාත්‍රියේ නයිරෝබි නුවර දී පැවති හමුවකදී ජනාධිපතිවරයා කියාසිටියේ.
මේ වන විට ශ්‍රී ලාංකිකයන් කෙන්යාවේ ඇඟලූම්, උද්‍යාන විද්‍යාව, ජල විදුලිය හා මෝටර් රථ පිළිබඳ ක්ෂේත්රවල පුහුණු රැකියාවල යෙදෙනවා.
බොහෝ පිරිසක් විවිධ ව්‍යාපාර කටයුතුවල නියැළෙන අතර ඔවුන්ගේ ගැටලූවලට ලබාදිය හැකි විසදුම් පිළිබද කඩිනමින් සොයා බලන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ මාතෘ භූමියට සාමය උදාවී 2019 වසරට වසර 10ක් සපිරෙන අතර, සාමයේ දස වස් සැමරුම, මෙම මැයි මාසයේ දී උත්කර්ෂවත් අන්දමින් සැමරීමට අපේක්ෂා කරන බවයි.
රටේ සාමය සහ සියලූ ජන කොටස් අතර තිබිය යුතු සංහිදියාව සහ සහෝදරත්වය ආරක්ෂා කරමින් යහපත් සහ විනයගරුක රටක් ලෙස, රට සංවර්ධනය කරා ගෙන යාම තම අරමුණ බව ද ඔහු මෙහිදී කියාසිටියා.
මානව සමාජයේ ප්රගමනය උදෙසා නිර්මාණය කළ නව තාක්ෂණික මෙවලම් වැරදි ලෙස භාවිතා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ සෙසු රටවල් ද මුහුණ දී ඇති අභියෝග පිළිබදව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.
ඊයේ නවසිලන්ත රජය මුහුණ දුන් ඛේදනීය සිදුවීමට ද සමාජ මාධ්‍ය ඉවහල් වී ඇති බවට ඒ පිළිබද පළ වී ඇති වාර්තාවල පෙන්වාදී ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා.
එමෙන්ම පසුගියදා මහනුවර ප්‍රදේශයේ ද සිංහල – මුස්ලිම් ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ කළේ ද සමාජ මාධ්‍ය විසින් බවට තොරතුරු සදහන් වන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
කෙසේ වෙතත් නවීන තාක්ෂණය මානව සමාජයේ පරිහානියට නොව ප්රගමනය වෙනුවෙන් භාවිතා කිරීමේ වැදගත්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවධාරණය කළා.