Politics Sri Lanka

විද්‍යා ඝාතන නඩුවේ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ ඇප ලිහිල් කරයි

විද්‍යා ඝාතන නඩුවේ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ ඇප ලිහිල් කරයි

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතකයින්ට පළායාමට අනුබල දීමේ වරද වෙනුවෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින යාපනය හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා වෙත පනවා තිබු ඇප කොන්දේසි අද (28) සිට ලිහිල් කිරීමට කටයුතු කරන බවට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාල් මහතා නියෝග කර තිබේ.

අදාළ නඩු විභාගය අද යාපනය කයිටිස් මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවා තිබු අතර එහිදී ලලිත් ජයසිංහ මහතා වෙත සෑම මසකම පළමුවන සඳුදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට සිදුකරමින් තිබු ‍නියෝගය ඉවත් කර ඇත.

ලලිත් ජයසිංහ මහතා අධිකරණ නියෝග අනුව සෑම මසකම පළමු වන සඳුදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම අඛණ්ඩව සිදුකිරීම හා ජයසිංහ මහතා සතු විදේශ ගමන් බලපත්‍රයද අධිකරණය භාරයේ පවතින බැවින් අදාළ කරුණු සැළකිල්ලට ගෙන ඇප කොන්දේසි ලිහිල් කරන ලෙසට නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මින් ඉදිරියට ලලිත් ජයසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම අවශ්‍ය නොවන අතර විද්‍යා දැරියගේ ඝාතකයින්ට පළායාමට අනුබල දුන් ශ්‍රී ගජන් නමැති උප පොලිස් පරීක්ෂකරවරයා කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසට කයිට්ස් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ‍ දෙපාර්තමේන්තු නිළධාරීන් වෙත නියෝග කර ඇත.

යාපනය, කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමඟ ප්‍රදේශයේදී 2015 මැයි මස 13 වන දින සමූහ දූෂණයට ලක්ව 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය ජිවිතක්ෂයට පත්විණ.

නඩු විභාගය නැවත ජුනි මස 20 වැනිදා නැවත කැඳවීමට නියමිතය.