Gossips

සහයිකාවට කැවුමාගෙන් නිවාස 5ක්

දැනට පොලීසිය මඟ හැර සිටින නිල්මිණී පෙරේරා හෙවත් තුෂාරි නැමැත්තියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කැලූම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා විසින් නිවාස 5ක් පමණ මිලට ගෙන ලබාදී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ජනතා සහය අපේක්ෂා කරන අතර, පොලිස් මූලස්ථානය, ඇගේ ඡායාරූපයක් ද ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළා.
47 හැවිරිදි පුස්තකාල සහයිකාවක් වන මෙම කාන්තාව, මොරටුව – කටුබැද්ද ජනතා පෙදෙස ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
පසුගිය දා හෙරොයින් කිලෝග්‍රෑම් 177ක් සොයා ගත් මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ නිවස ද පවතින්නේ ඇගේ නමට බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ.
මේ වන විට ඩුබායි හි රදවා සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන කැවුමා පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක සිටියදී පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකින් කොල්ල කෑ දියමන්තිය බව පැවසෙන පාෂාණය සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 5 වන දායි.
අදාළ නිවස ද දනට අතුරුදන්ව සිටින කාන්තාවගේ නමට ලබාගෙන ඇති බව හෙළි වී තිබෙනවා.
එසේම මොරටුව – මහපල්ලිය පාරේ නිවසක් සහ ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය පිටුපස නිවසක් ද කැවුමා නැමැත්තා මෙම කාන්තාවගේ නමට මිලට ගෙන ඇති බවයි හෙළි වී ඇත්තේ.
මත්කුඩු ජාවාරමෙන් උපයා ගන්නා මුදල් යොදවා මෙම නිවාස මිලට ගෙන ඇති බවයි මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම්, 071 859 15 89 යන දුරකථනය හරහා කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ වෙත තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙනවා.