Gossips

මගීන් සමග ලංගම බස් රථයක් පැහැරගෙන යයි – සැකකරුට මානසික රෝගයක්

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මගීන් ද සහිතව කිසියම් පුද්ගලයෙකු පැහැර ගත් පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පසුව අදාළ පුද්ගලයා අල්ලා පොලිසියට භාරදීමට පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් සහ ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
ගාල්ල උඩුගම සිට ඇල්පිටිය හරහා මීගමුව දක්වා ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අදාළ බස් රථය ඊයේ පස්වරු 4 ට පමණ ඇල්පිටිය බස් නැවතුම්පලට ළගා වී තිබුණා.
එහිදී බස් රථය බස් නැවතුම්පලේ නවතා එහි රියදුරු සහ සහයකයා තේ පානය සදහා පිටව ගොස් තිබෙනවා.
ඒ අතරතුර බස් රථයට ගොඩ වූ පුද්ගලයෙකු මගීන් ද සිටි එම බස් රථය පදවාගෙන ගොස් තිබෙනවා.
එය බස් නැවතුම්පළේ සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව තිබුණා.
මානසික රෝගයකින් පෙළෙන බවට වාර්තා වන 39 හැවිරිදි අදාළ සැකකරු ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසද ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කර තිබෙනවා.