Gossips

පවතින උණුසුම නිසා ජලය පානය කිරීමට උපදෙස්

මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ ශරීර උෂ්ණත්වය ඉහළ යාම පාලනය කර ගැනීම සඳහා හැකිතරම් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙනවා.
මේ හේතුවෙන් විජලනය ඇති වී ඍජුවම වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවිය හැකි බවයි වකුගඩු රෝග පිළිබඳ දේශීය පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ.
එසේම පෙරවරු 10ත් සවස 2 ත් අතර කාලයේදී හිරු එළිය දැඩිව පවතින ප්‍රදේශවල සිටීම හැකිතාක් අවම කළ යුතු බවයි වකුගඩු රෝග පිළිබඳ දේශීය පර්යේෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන කියා සිටියේ.
මේ අතර මධ්‍යම පළාතේ තෙල්දෙණිය සහ කරලියද්ද ඇතුලූ ප්‍රදේශ කිහිපයක මේ දිනවල උග්‍ර පානීය ජල හිඟයක් පවතින බවට වාර්තා වනවා.
ඊට හේතු වී ඇත්තේ මෙම ප්‍රදේශවලට ජලය සැපයෙන රංගල – කොටගඟ ජල මූලාශ්‍රය සිඳී යාමයි.
මෙම තත්ත්වය හමුවේ එම ප්‍රදේශවල රජයේ කාර්යාල සහ වෙළඳසැල් පවත්වාගෙන යෑමටද ගැටළුවක් වී ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් අප ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මධ්‍යම පළාත් ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ.එච්. මීගොඩගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ 2012 වර්ෂයේ බලපෑ වියලි කාලගුණ තත්ත්වයට සමාන තත්ත්වයක් මේ වසරේ ද පවතින බවයි.