ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දෙමල ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා.
එම සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඊයේ දිනයේ මෙරටින් පිටත්ව ගොස් ඇති අතර උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් දිවයිනෙන් පිටත්ව ගියේ අද පෙරවරුවේයි.
ජිනීවා නුවර බලා යාමට පෙර හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවී උතුරු පළාත් සභාව මගින් සම්මත කර ගත් යෝජනාවලියක් ඇයට භාර දීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කළ වාර්තාව සලකා බැලීම ලබන 20 වනදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රහය දක්වා ඇති යෝජනාව සලකා බැලීමට නියමිතව ඇත්තේ ලබන 21 වනදායි.
එහිදී ශ්‍රී ලංකාවට තවත් කාලයක් ලබා නොදෙන ලෙස ඉල්ලා ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරියට ලිපියක් ද භාර දීමට නියමිත බව හිටපු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළා.
ඊට දෙමළ සන්ධානය නියෝජනය කරන ටෙලෝ සහ ෆ්ලොට් යන දේශපාලන පක්ෂවල නායකයින් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ්., ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් ටී.යූ.එල්.එෆ් සහ ගජේන්ද්ර කුමාර පොන්නම්බලම්ගේ ටී.එන්.පී.එෆ් පක්ෂය අත්සන් තබා ඇති බව සඳහන්.
එමෙන්ම ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සුමන්දිරන් ද ලබන 18 වනදා දිවයිනෙන් පිටත් යාමට නියමිතයි.
මේ අතර 40 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා ලක් රජය නියෝජනය කරමින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරීන් පුල්ලේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
මේ අතර වියත් මග සංවිධානය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු විදේශ ලේකම්වරයෙකු වන පාලිත කොහොන කියා සිටියේ මානව හිිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වීමෙන් රටට යහපතක් සිදු නොවන බවයි.