Gossips

ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය

ආනයනික කිරිපිටි සදහා මිල සූත්‍රයක් හදුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජාත්‍යන්තර වෙළදපොලෙහි මිල සහ විනිමය අනුපාතයන්හි විචල්‍යයන් සැලකිල්ලට ගෙන රජයට මෙන්ම කිරිපිටි කර්මාන්තකරුවන්ට ප්‍රතිලාභ හිමිවන අයුරින් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමටයි ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව යෝජනා කර ඇත්තේ.
එය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන අතර, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම ග්‍රාමීය කටයුතු සහ පශුසම්පත් අමාත්‍ය පී.හැරිසන්.
මේ අතර, රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය මෙන්ම, විකිණීම ද තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
මුඛ පිළිකා වැළඳීමට ඇති අවදානම සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.
එමෙන්ම ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් ‘‘දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල’’ ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවික සමාජ ආරක්ෂණ ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය පනත් සංශෝධනයට මෙන්ම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දහසකින් වැඩිකිරීමට සහ විදුලි සෝපාන සඳහා යෝග්‍යතා සහතික ලබාදීමේ යෝජනාවකටද කැබිනට් අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.rn