Gossips

නව පාසල් වාරයේ විසඳුමක් අපේක්ෂාවෙන් ගුරු – විදුහල්පති වර්ජනය අවසන්

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 3 ක් මුල් කරගෙන ගුරු – විදුහල්පතිවරුන් අද ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනය සාර්ථක වූ බව වෘත්තිය සමිති ප්‍රකාශ කළා.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී යළිත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට බලාපොරොත්තු වන බවයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පාසල් රැසක අධ්‍යයන කටයුතු අඩාල වුණා.
දිවයින පුරා පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
කෙසේ වෙතත්, උතුර පළාතේ දෙමළ පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බව ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් කියා සිටියා.
මේ අතර ඇතැම් පාසල් වෑන් රථ රියදුරන්, ගුරුවරුන්ගේ වර්ජනයට විරෝධය පළ කළා.
මේ අතර කොටුව දුම්රිය ස්ථානය ඇතුලූ දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වූ ගුරුවරුන් විරෝධතාවල නිරතවන ආකාරයද දක්නට ලැබුණා.
ඇතැම් ගුරුවරුන් පාසල් ඉදිරිපිටද විරෝධතාවයේ නිරතවූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ දෙවන පාසල් වාරය ආරම්භවීමට පෙර තම ගැටළුවලට විසඳුමක් ලබා නොදුනහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ගුරුවරුන්ද නොමග යවමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඇතැම් වෘත්තිය සමිති ක්‍රියාකිරීම ඛේදනීය තත්ත්වයක් බවයි.
එමෙන්ම අද දිනයේදී සේවයට වාර්තාකළ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට සිය කෘතඥතාව පළ කරන බවද අමාත්‍යාංශය කියා සිටියා.
අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ වැටුප් විෂමතා ඉවත් කිරීමට ඉදිරියේදී පියවර රැසක් ගැනීමට නියමිත බවයි.
ඒ අනුව ගුරු විදුහල්පති සේවාව තුළ ඇති අනෙකුත් වැටුප් විෂමතාවන්වලටද සාධාරණ විසඳුම් ලැබෙනු ඇති බවයි එම නිවේදනයේ දැක්වුණේ.
පාසල් දරුවන් හතලිස් තුන් ලක්ෂයකගේ අධ්‍යයන පැය දෙකෝටි 58 ලක්ෂයක් අහිමි කිරීමට මෙම කණ්ඩායම ගත් ක්‍රියාමාර්ගය ගැන කණගාටුව පළ කරනබවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.